You cannot copy content of this page
අවෛරයේ හෝරාව මංගල දකුණින් අරඹයි

සියලූ අන්තවාදීන්, ජාතිවාදීන්ට සහ අවස්ථාවාදීන්ට එරෙහිව මාතර ජනතාව සංවිධානය කළ ‘‘අවෛරයේ හෝරාව’’ වැඩසටහන මාතර බස්නැවතුම්පොළ ඉදිරිපිටදී ඊයේ (10) වෙනිදා පැවැත්විණි.

අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරයත් ඊට පසු රට තුළ මතුවෙමින් පවතින සිංහල සහ මුස්ලිම් අන්තවාදයටත්, ඒ සියලූ අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීමට උත්සාහ දරණ අවස්ථාවාදීන්ට එරෙහිව සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් එම ජනතාව උද්ඝෝෂණයක ද නිරත වූහ.


මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද ඔවුන් දිරිමත් කරමින් පිරිස අතරට එක් විය. රැස්ව සිටි පිරිස අමතමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සිංහල, මුස්ලිම් ඇතුළු සියලූ ජාතිවාදීන්ට එරෙහිව ‘‘අවෛරයේ හෝරාව’’ මාතරට පමණක් සීමා නොවී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ක‍්‍රියාත්මක විය යුතු බව යි. මෙම වැඩසටහන දිවයින පුරා සාර්ථක වනු දැකීම සිය අපේක්‍ෂාව බව ද හෙතෙම පැවසී ය.

‘‘මාතර කියන්නේ අතීතයේ පටන්ම ආසාධාරණයට එරෙහිව නැගී සිටි මිනිසුන් හිටපු ප‍්‍රදේශයකි. ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට එරෙහිව මාතර ජනතාව ඒකීය ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් දිවි හිමියෙන් එදා ඉඳලා පෙනී හිටියා.
අදත් රට තුළ වෛරය යළි වතාවක් වපුරවන්න ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්න ඇතැම් පිරිස් උත්සහ දරද්දී, මාතර ජනතාව පෙරට ඇවිල්ලා ඔවුන්ගේම අදහස් අනුව ‘‘අවෛරයේ හෝරාව’’ වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගත්තා. මම මාතර ජනතාවට ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
මාතර ජනතාවගෙන් 95‍% ක් සිංහල බෞද්ධයන් ය. ඔවුන් බුදුන්ගේ ධර්මය අනුව සියලූ ජාතීන්ට මෛත‍්‍රිය පතුරවමින් නව ශ‍්‍රී ලංකාවක් කරා යන ගමන අද අපි මාතරින් ආරම්භ කරලා තියෙනවා. අනාගත දරුවන්ට හිමි විය යුතු ආර්ථික සංවර්ධනය ලබා දෙන්න නම් මේ වැඩසටහන මාතරට විතරක් සීමා නොකර රට පුරාම ක‍්‍රියාත්මක කරන්න ඕනේ.


දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට එනකං සෑම ජාතියකම, ආගමකම ජනතාව නව ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිය යුතු යි.
අද එක පැත්තකින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව වෙනකන් මුළු රටම ගම්පෙරළිය යටතේ සංවර්ධනය වෙමින් තිබෙනවා. සංවර්ධනය ජාතියකට, ආගමකට සීමා වෙලා නැහැ. ඒ නිසා තමයි පන්සල්, කෝවිල්, පල්ලි සංවර්ධනයට ගම්පෙරළියෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ.
අනිත් පැත්තෙන් එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා යටතේ නව ව්‍යවසායකත්ව අපේක්‍ෂාවන් ඇති පිරිසට ඉදිරියට එන්න ශක්තිය දෙනවා. විශේෂයෙන්ම අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරයෙන් අසරණ වෙලා ඉන්න සංචාරක ප‍්‍රදේශවල ජනතාවට අපි සහන මල්ලක් ලබා දීලා තියෙනවා. මිරිස්ස, වැලිගම, මාතර ප‍්‍රදේශවල සංචාරක පොඞ්ඩන්ට අපි විශේෂ සහන දීලා තියෙන්නේ මේ එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා යටතේ යි.


මේ මාතර නගරයට රැස් වෙලා සිංහල, මුස්ලිම් ඇතුළු සියලූ අන්තවාදයන්ට එරෙහිව ඔබ මේ ලබා දුන් ආදර්ශය ශ‍්‍රී ලංකාවේ සියලූ ම ප‍්‍රදේශවල ජනතාවට ලබා ගත යුතු යි.’’ මංගල සමරවීර මහතා පැවසී ය.

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *