You cannot copy content of this page
මෙතැනින් කොතනටද?

සියළුම මුස්ලිම් ජාතික ඇමැතිවරුන් ඇමැති තනතුරු අත්හළෝය.

අතුරලියේ රතන හිමියෝ ද උපවාසය අත්හළේය.

උග‍්‍රවෙමින් ආ අර්බුදකාරී තත්වය තාවකාලිකව හෝ සමනය වීම ඉමහත් අස්වැසිල්ලකි.

රිෂාඩ් – අසාද් – හිස්බුල්ලා ඉවත් කෙරෙන තුරු අතුරලියේ රතන හිමියෝ පටන්ගත් උපවාසයකට රට පුරාම උපවාස රැල්ලකින් සැපයූ උත්තේජනය හමුවේ, සියලූම මුස්ලිම් ඇමැතිවරු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීන්දු කරනු ලැබුවද, ඔවුහු ආණ්ඩුව තුළ පසුපෙල මන්ත‍්‍රීවරු ලෙස කටයුතු කරමින් ආණ්ඩුව රැකගැනීමට කටයුතු කරන බවට ප‍්‍රතිඥා දී ඇත. ඇත්තෙන්ම ඔවුන්ගේද එකම ඉල්ලීම වූයේ පසුගියදා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහ තිරයේ පිටුපස සිටින්නවුන්ට පරීක්‍ෂණ පවත්වා දඩුවම් ලබාදිය යුතු බව යි.

ජාති – පක්‍ෂ භේද නොසලකා වැරදි කළවුන්ට දඩුවම් දීමෙන් නිර්දෝෂී මිනිසා නිර්දෝෂී මිනිසෙකු ලෙස සමාජය හමුවේ පිළිගැනෙන අතර සමාජය විසින්ම ඔවුන් ආරක්‍ෂා කරනු ලබ යි. එහෙත් නිර්දෝෂී බව සනාථ කෙරෙනතුරු ඔවුන්ට ජීවිතය සහ මරණය අතර දෝලනය වන මානසික භීතියකින් ජීවත්වීමට සිදුවන අතර ඊට ක්‍ෂණික විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතුව ඇත.

අවුරුදු තිහක කුරිරු යුද්ධයකට මුහුණපා හෙම්බත් වූ රටක් යළිත් ප‍්‍රගතියේ මාවතට ගෙනයනු පිණිස ඉතාම අත්‍යාවශ්‍ය සාධකය වන්නේ ජාතික සමගිය යි. එසේම ජාතික ආරක්‍ෂාව සාක්ෂාත් කළ ස්ථාවර ආණ්ඩුවක් සහිත පාලකයන් මඟින් සියලූ ජාතීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම ද, මේ මොහොතේදී කළ යුතුව ඇති කළ හැකිව ඇති, ඉටුකළ යුතු වගකීමක් බැව් අවධාරණය කළ යුතුම ය.

ජාතිවාදී බලවේග හිස එසවීම කිනම් ජාතියකින් වුවද මතුවීම යනු අනාගතයේ තවත් අඳුරුතම යුද්ධමය තත්ත්වයකට රට ඇදගෙනයාම බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඇතැම් විදේශ බලවේග බොරදියේ බාළු බාන්නට ඇම කවන තත්ත්වයක් තුළ එකී බලවේග කලදුටුකළ වළ ඉහගන්නා අවස්ථාව එළැඹෙන තෙක් බලා සිටින වග සියලූම ජාතීන්ට අයත් නායකයින් සිහිතබා ගත යුතු ය.

මරාගෙන මැරෙන බෝම්බයකින් ‘‘සහරාන්’’ ඉටු කළේ අනාගතයේ ඇතිකළ යුතු යැයි විදේශ බලවේග හරහා අමුසොහොන් නිර්මාණය කිරීමේ කර්තව්‍යය නොවේද? ජාතික සමගියට, ආගමික සහජීවනයට විනකටින ලද ඒ පාස්කු ප‍්‍රහාරය හරහා ජාතිවාදී බලවේග නව පණක් ලද්දවුන් සේ මතුවීම රටේ අනාගතයට සුබවාදී කරුණක් නොවේ.

රට වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ නොගෙන පසුබා සිටීමෙන් සිද්ධවන්නේ රට නොසිතන අන්දමේ ගමන් මාර්ගයකට අවතීර්ණ වීම ය. එය අප කිසිසේත්ම ප‍්‍රාර්ථනා නොකළ යුතු අනාගත නරකාදියකට ප‍්‍රවේශවන ගමන් මාර්ගයකි.

බෝලය පාස්කර තම දෑත් පිරිසිදු කර ගැනීමට අවස්ථාවාදීව කටයුතු කරන්නවුන් වෙනුවට රට වෙනුවෙන් සිතන, රටේ ජනතාව වෙනුවෙන් සිතන සංවේදී මෙන්ම ප‍්‍රබල නායකත්වයකින් යුක්ත ස්ථාවර ආණ්ඩුවක් රටට අවශ්‍ය මොහොතක වත්මන් ආණ්ඩුවේ ආණඩුකාල සීමාවක් දක්වා ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විපක්ෂයේ ද සහාය දිය යුතු ය.

එහෙත් ආණ්ඩුවල සැමවිටම තීන්දු තීරණ ගැනීමේදී අමන තකතීරු තීන්දු තීරණ වලින් බැහැර විය යුතු බව සඳහන් කළ යුතුම ය. සියලූ ජාතිකත්වයන්ට සමසේ සලකනු ලබන ජාතික ආරක්‍ෂාව මුල් නගිති නම් සලකනු ලබන ප‍්‍රබල ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය පැන නැගී ඇති මොහොතක කල්මැරීම සඳහා කඹ ඇදීමෙන් සිදුවන ඵලය අසාර්ථකාරී බව සිතීමට අවැසි ප‍්‍රඥාව ජාතික නායකයන්ට ලැබිය යුතුම මොහොතක ඉන් බැහැරව සිතීම ද උගහට ය.

මෙවන් අවස්ථාවකදී කිසිදු ජාතියක් කොන් නොකිරීමට ඉටාගත යුතු බව ආණ්ඩුව නිවැරදිව කටයුතු කිරීමෙන් ජනතාවට ආදර්ශයක් දිය යුතුව ඇත.

සිංහල මව්වරුන් වඳ භාවයට පත්කිරීමේ චෝදනාව දැනට අත්අඩංගුවේ පසුවන ‘‘ෂාපි’’ වෛද්‍යවරයා පිළිබඳව පූර්ණ විධිමත් පරීක්‍ෂණයක් කර ඔහු කළා යැයි කියන වඳකිරීම් සත්‍යය නම් ඔහුට උපරිම දඩුවම් ලබාදීමෙන් ජනතාව අතර විශ්වාසය ඇතිකළ යුතුව ඇත.

එසේම ඉස්ලාම් අන්තවාදීන් අල්ලා ගැනීම සඳහා කරණ ලද මෙහෙයුම් වලදී බොහෝවිට උපරිම සහයෝගය ලැබුණේ මුස්ලිම් සමාගම තුළින්ම ය. ඉතාම සුළු කොටසක් අන්තවාදීන්ව සිටින මුස්ලිම් සමාජය ශ‍්‍රී ලාංකිකත්වයෙන් ද, ඈත් කර තැබීම හෝ ඉවත් කර තැබීම නුවණට හුරු කරුණක් නොවේ. එය වඩාත් කුරිරු වර්ගවාදී ගැටුමකට මුලපිරීමක් බැව් අවධාරණය කළ යුතුව ඇත්තේ එම මුස්ලිම් සමාජය අනාදිමත් කාලයක සිට ශ‍්‍රී ලාංකීය සංස්කෘතියට බද්ධ වූවක් බැවිනි.

අනෙක් කාරණය වන්නේ විදේශීය අත පෙවීම් පිළිබඳව පවතින භීතිකාව යි. ඒ පිළිබඳව බොහෝ මාධ්‍යයන් තුළින් ඉඟි පළකර ඇති අතර ඒවා වසන් කිරීම හෝ ඒවාට මාර්ග පාදාදීම කිසිසේත්ම කළ යුතු නැත. විශේෂයෙන්ම ජාතික ආරක්‍ෂාව සම්බන්ධ කාරණයේදී අපේ රටේ ආරක්‍ෂක අංශ තුළ ක‍්‍රියාත්මකව සිටින වටිනාකම අංශය වන්නේ බුද්ධි අංශය යි. එය වඩාත් ශක්තිමත් කළයුතු අතර ඔවුන්ගේ මඟපෙන්වීම්, හෙළිදරව් කිරීම් සැලකිල්ලකට නොගැනීම හේතුවෙන් ජීවිත තුන්සියය ඉක්මවමින් වන්දි ගෙවීමට සිදුවීම ජාතියේ අවාසනාවකි.

වර්තමානයේදී කළ යුත්තේ කුමක්ද? යන පැනයට පිළිතුරු සෙවිය යුත්තේ වර්තමානයේදීම මිස අනාගතයේදී නොවන බව අප කවුරුත් සිහිතබා ගත යුතුව ඇත.

අවුරුදු හැත්තෑගාණක පාලන රටාවේ අප‍්‍රසන්න කූටප‍්‍රාප්තිය එළැඹීමට විශේෂයෙන්ම ඉවහල් වූ සමාජ මාධ්‍යජාලා වලින් කරන ලද්දා වූ වැඩ කොටස අපට බැහැර කරළිය නැති දෙයක් නොවේ.

සත්‍යය තාවකාලිකව වෙනස් කළ හැකි වුවද, සදාකාලිකව එය කළ නොහැකි බව අප විසින් අවධාරණය කරගත යුතු කාලය දැන් උදාවී ඇති බැවින් මහා කන්දක් පොල් කට්ටකින් වැසිය නොහැකි බව අප කවුරුත් සිහිතබා ගැනීම වඩාත් හොඳ ය.

ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *