You cannot copy content of this page
පෑහීමක් නැති දේශපාලනය

‘‘බුද්ධිය’’ ‘‘මුග්ධභාවය’’ දෙස බලා සිනාසෙනු දකින ‘‘අන්ධ භක්තිය’’ බුද්ධිය සමච්චලයට ලක්කළේ ‘‘බුද්ධිය’’ යනු ‘‘මෝඩ අඥානයකු’’ බව ගර්හාවට ලක් කරමින් ය. එහෙත් එම හැඳින්වීම වඩාත් සුදුසු ‘‘මුග්ධභාවය’’ ට බව නොදැන ‘‘බුද්ධිය’’ට සිනාසෙමින් ගර්හාවට ලක්කිරීම කෙතරම් යුක්ති සහගතදැයි ‘‘අන්ධ භක්තිය’’ නොදැන සිටියේ භක්තිය අන්ධ වූ මිස අන් කරුණක් නිසා නොවෙනස් ‘‘භක්තිය’’ නරුමයින් කෙරෙහි දැක්විය යුතු ප‍්‍රතිචාරයක් නොවන ‘‘මුග්ධභාවය’’ තේරුම් කරදීමට ‘‘බුද්ධිය’’ ට නොහැකිවූයේ ‘‘මුග්ධභාවය’’ සතුව ‘‘මස්තිෂ්කය’’ ක් නොමැති බව සොයාගැනීමෙන් අනතුරුව ය.


මෙලෙස දැක්වූයේ හුදු වක‍්‍ර චේතනාන්විත ගැරහීමක් නොවන වග බුද්ධිමත් ඔබ ද තේරුම් ගන්නේයැයි සිතීම ඔබට කරනු ලබන ගෞරවයකි.
අද අපේ රටට ද ගැලපිය හැකි ‘‘මූඩිය’’ ක් මෙහි ඇත්තේ අපේ රට ‘‘ජාඩිය’’ ක් ලෙස සැලකුවහොත් පමණකි.
කෙසේ වුව ද ‘‘තකට තක’’ ගැලපෙන සෙයියාවක් මේ තුළ ඇත.
‘‘තවලම’’ ට නායකත්වය දෙන ඉදිරියේම පෙරට ඇදෙන ‘‘ගැල’’ සුදුසු ‘‘බානක්’’ නැතිකළ අයාලේ ඇදීයාම කවරාකාරයෙන්වත් වැළැක්විය නොහැකි ය. ගැමි වහරේ එන කතාවකට අනුව ‘‘එළහරකයි මීහරකයි වාගේ’’ කියන කීම කියන්නට ඇත්තේ කටකහනවාට නොවේ.


අශ්ව ජෝඩුවක් බැඳි කරත්තයකින් මංගල ගමන යාමට රිසි මනාල ජෝඩුවකට ඒ අශ්ව ජෝඩුව නොගැලපීම නිසාවෙන් සිද්ධ වෙන අභාග්‍යය සිතාගන්නට රජයේ විශ්ව විද්‍යාලයකින් තබා පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ගත් උපාධියක්වත් අවශ්‍ය නැත. එය ඕනෑම මෝන්ටිසෝරි දරුවෙකුට තේරෙන සමීකරණයකි.
අද අප රටේ දේශපාලනයට සිද්ධ වී ඇති කරුමයද එවන් කරුමයක් බව නොකියා සිටිය නොහැක්කේම ය.


මේ රටේ දේශපාලන පක්‍ෂ වලට පමණක් නොව ආණ්ඩුවකට ද රටත් ඉදිරියට ඇදගෙන යා හැකි කවර අන්දමේ හෝ මනුස්සබානක අවශ්‍යතාවයට වඩා ‘‘සුදුසු මනුස්ස බානක’’ අවශ්‍යතාවය පැන නැගී ඇත.


එකිනෙකාට එරෙහිව ආඩපාලි කියනවාට වඩා සුදුසු නැත්නම් සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීම මහපුටුවල ලොකු ඇත්තන් සතු වගකීමකි. කශේරුකාව ශක්තිමත් මිනිසුන්ගේ ඌණතාවය නමැති රෝගයෙන් පීඩා විඳින අපේ රටේ මහඇත්තන්ගේ පටු මනස්කාරය හේතුවෙන් අපට මතක් වෙන පිරුළක් ඇත.
අර හබන් කුකුළන්ට රජ මඟුල් ඇතිවන හේතුවම මේ රට යන සෙයියාවට ගලපා ගන්නට ගියහොත් සිද්ධ වන්නේ කුමක් ද?


තමන් හමුවේ අති වගකීම ඉෂ්ට කිරීම සඳහා අනුන්ගේ කල්කිරියාව හේතුවක් වන කල්හි කළ යුත්තේ කුමක්දැයි සිතීමට බරපතළ කාරණාවක් වන්නේ නම් කළ යුත්තේ කුමක් ද? ‘‘යාදෙක නොරත රත එකට පෑහීමක් නැත’’ යන්නෙහි අරුත ගැලපෙන සිදුවීම් වලට පිළිතුරු සෙවීම අප වැනි දුහුනන්ට නොනිසි කාරණයක්ම වන්නේ නම් කළ යුත්තේ කුමක්දැයි ‘‘කලෙකදී වහලූ කලෙකදී රස වෙනවාලූ’’ යන්නෙහි අරුත අතීතයට පමණක් නොව වර්තමානයට ද හොඳින්ම ගැලපෙයි. සිල්ලර කඩයක් කරගෙන යන දෙබෑයෙකු අතර නොහොඳ නෝක්කාඩුවක් ඇතිවන කල්හී සිල්ලර කඩයේ වෙළහෙළඳාම් පැත්ත කියා චූලෝදර – මහෝදර මෙන් හැසිරෙන්නට ගියහොත් සිල්ලර කඩයෙන් යැපෙන්නවුන්ට යන කල ගැන අමුතුවෙන් කිව යුතු නැත.
කෝන්තර පෞද්ගලික වූවත් පොදු වූවත් එය සමතය කරගන්නට ඊට අදාළ වූවන්ට ප‍්‍රඥාව නම් අත්‍යාවශ්‍ය වන්නේ ය.


පොරොන්දම් 21 ක් නොගැලපෙන්නේ නම් විවාහ නොවිය යුතු බව පුරාණයේ සිට එන මංගල චාරිත‍්‍ර සඳහා වූ මූලික කොන්දේසියකි. අඩුම ගානේ දෑඟිලි බැඳ මංගල යාත‍්‍රාවට පිවිසෙන්නට ප‍්‍රථමයෙන් අඩුම ගානේ ඒ විසි එකෙන් පහලොවක් විස්සක් වත් ගැලපෙනවාද කියා සොයා බැලීම විවාහය නමැති වියගහ කරතබා යන්නට ලෑස්තිවෙන ‘‘බාන’’ තේරුම් ගත යුතු ය.
නැතිනම් සිද්ධ වන්නේ එක් ජීවියෙක් ‘‘කිලිනොච්චි’’ යන කල්හි අනෙක් ජීවියා ‘‘මැදවච්චි’’ යන්නට හැදීම ය. හොඳම දේ ගැලපෙන්නේ නැතිනම් ආඩපාලි කිය කියා ඉන්නවට වඩා දික්කසාද වී තමන්ට ගැලපෙන ජීවියෙකු සොයා ගැනීම ය.
නොඑසේනම් සිද්ධ වන්නේ ‘‘ගැල’’ වල්මත් වී හසරක් නොදිටීම ය.
කැණිමඩලට හෙණ වදින කල්හී පියස්සට සිද්ධ වෙන සන්තෑනිය තේරුම් ගන්නට අන්ධ භක්තියට නොහැකි බව සව්වන් තේරුම් ගත යුතු ය. නැතිනම් සව්වන්ට සිද්ධවන්නේ පියස්සට යටවී කලාබර ගහන්නට ය.
ඉතිහාස පොත වසා තිබෙන තුරු පාඩම් ඉගෙන ගත නොහැකි ය.
ඇස් දෙක වහගෙන ඉතිහාස පොතේ පිටු පෙරළාද වැඩක් නැත. හොඳින් ඇස් දෙක ඇරගෙන ‘‘මස්තිෂ්කය’’ වෙන කොහේවත් තියාගෙන සිටියාට ද වැඩක් නැත. බලන ඇස් දෙකෙන් මස්තිෂ්කයත් එකට යා යුතු ය. නැතිනම් මේවා දෙස බලා සිටින එවුන්ට සිද්ධවන්නේ ද තමන් විසින්ම කැරකිලා අතෑරෙන්නට ය. දැන් අපට සිද්ධ වී ඇත්තේ ද මෙයම ය.


දැන් ‘‘ගැල’’ යන්නේ අයාලේ ය. ‘‘ගැල’’ නිසිමඟට ගෙනයාමට ‘‘බාන’’ ට ඇති වගකීම ආඩපාලි වලට පමණක් සීමා වී ඇත.
වලිගය ඇති එකා මැස්සන්ට බැට දෙන කල්හී වල්ගය නැති එකාට සිද්ධවෙන හරිය තේරුම් ගැනීමට මේ හරියවත් තේරුම් ගැනීමට ද මස්තිෂ්කය තිබුණාට මදිය. එය හරියට පාවිච්චි කළ යුතුම ය.
හරිය…. !

සුජීව ගමගේ

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *